ඉරානයට එරෙහි ක්‍රියාමාර්ග ගැන ට්‍රම්ප් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වීම සමග ඉන්ධන මිල එහි ඉහළම අගයට


ඉන්ධන පිරවුම්හල් සේවිකාවක් සුදු පැහැති මෝටර් රථයකට ඉන්ධන පුරවන අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Costfoto/NurPhoto via Getty Images

    • Author, ඔස්මන්ඩ් චියා
    • Role, ව්‍යාපාරික වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත හැකි ක්‍රියාමාර්ග සඳහා වන නව සැලසුම් පිළිබඳව එක්සත් ජනපද හමුදාව විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දීමට සූදානම් වන බවට පළ වූ වාර්තාවකින් අනතුරුව, 2022 වසරෙන් පසු ඉන්ධන මිල එහි ඉහළම අගයට ළඟා වී තිබේ.

ටෙහෙරානය සමඟ කෙරෙන සාකච්ඡාවල පවතින අවහිරතා අවසන් කිරීම සඳහා එක්සත් ජනපද මධ්‍යම අණදෙන සේනා විධානය විසින් ඉරානයට එරෙහි "කෙටි හා ශක්තිමත්" ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් සකස් කර ඇති බව ඇක්සියෝස් වාර්තාවක දැක්වේ. ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා බීබීසී පුවත් සේවය එක්සත් ජනපද මධ්‍යම අණදෙන සේනා විධානය සහ ධවල මන්දිරය සම්බන්ධ කර ගෙන ඇත.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 126 ට වඩා 7% කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය 2022 දී රුසියාව යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමයි.

සාම සාකච්ඡා ඇණහිටීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය මුළුමනින් ම වසා දැමීම හේතුවෙන් මෙම සතියේ බලශක්ති මිල ගණන් ඉහළ ගොස් තිබ���.

නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් ඇක්සියෝස් වාර්තා කළේ සැලසුම් කර ඇති ප්‍රහාර මාලාව ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගත හැකි බවයි.

වාණිජ නැව්ගත කිරීම සඳහා නැවත විවෘත කළ හැකි වන පරිදි හෝමූස් සමුද්‍ර සන්ධියෙන් කොටසක් අත්පත් කර ගැනීම සඳහා පාබල හමුදා යෙදවීම කෙරෙහි අවධානය යොමු කළ තවත් සැලැස්මක් පිළිබඳව ද ඇක්සියෝස් වාර්තා කර සිටියි.

එක්සත් ජනපද වෙළඳපොළේ වෙළඳාම් වන බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් මිල ද 2.3% කින් ඉහළ ගොස් ඇති අතර තෙල් බැරලය ඩොලර් 109 ක් පමණ වේ.

ජූනි මාසයට අදාළ බ්‍රෙන්ට් අනාගත ගිවිසුම (තෙල් කොන්ත්‍රාත්තුව) බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත බැවින්, වෙළඳුන් දැන් ඒ වෙනුවට ජූලි කොන්ත්‍රාත්තුව කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, එය ආසියානු වෙළඳාමේ දී ඩොලර් 113 ක් පමණ දක්වා එනම් 2% කින් පමණ ඉහළ ගොස් තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අනාගත ගිවිසුම් යනු ඉදිරි දිනයක ස්ථාවර මිලකට යමක් මිලදී ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් ඇති ගනුදෙනු වේ.

ගල්ෆ් කලාපය තුළ තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග සක්‍රීය වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්ධන වෙළෙන්දෝ ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ බව නැන්යැං තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය යෙඕව් හ්වී චුවා පැවසීය.

ගැටුම වර්ධනය වීමේ සුළු අවස්ථාවක් පවා ගෝලීය බලශක්ති සැපයුම් කෙරෙහි "අධික බලපෑම්" ඇති කළ හැකි බව ඔහු තවදුරටත් පැවසීය.

ගෝලීය තෙල් සැපයුමට බලපාන පරිදි හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා යාත්‍රා කිරීම්වලට ඉරානය අඛණ්ඩව තර්ජනය කළහොත් ඉරාන වරායන් අවහිර කරන බව එක්සත් ජනපදය පැවසීය.

එක්සත් ජනපද-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට එරෙහිව ඉරානය පළිගත්තේ, ගෝලීය බලශක්ති අවශ්‍යතාවයෙන් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් රැගෙන යන හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් වලට පහර දෙන බවට තර්ජනය කිරීමෙනි.

ඉරානයට එරෙහිව "දිගු" සම්බාධක පැනවීමට වොෂින්ටනය සූදානම් වන බවට වාර්තා පළ වීමෙන් පසු බදාදා තෙල් මිල 6% කින් ඉහළ ගියේය.

බලශක්ති සැපයුම් බාධාවන් පිළිබඳ වන කනස්සල්ල මධ්‍යයේ, එක්සත් ජනපද පාරිභෝගිකයින්ට යුද්ධයෙන් සිදුවන බලපෑම අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති ප්‍රධානීන් ට්‍රම්ප් හමුවිය.

"මගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ට්‍රම්ප් පරිපාලනයට ආර්ථික පීඩනය කොච්චර කාලයක් දරාගන්න පුළුවන් වෙයිද කියන එක" රේමන්ඩ් ජේම්ස් හි ආයෝජන කළමනාකරු විල් වෝකර්-ආර්නොට් බීබීසී ටුඩේ වැඩසටහනට පැවසීය.

"තෙල් මිල ඉහළ යාම නිසා ඇතිවන උද්ධමන බලපෑම ගැන ජනතාව ඇත්තටම කනස්සල්ලට පත්වෙලා", ඔහු තවදුරටත් පැවසීය.